Monday, August 5, 2013



දේශපාලන විද්‍යාව 

පළමු අදියර දේශපාලන විද්‍යාවේ ස්වභාවය

රාජ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මත.

මෙම මත දැක්වීම් දේශපාලන විද්‍යාවේ විශය අන්තර්ගතය තුළ සුවිශේෂි වැදගත්කමක් රාජ්‍ය නම් වූ මාතෘකාවට යොමු වන්නේය. එහිදි රාජ්‍ය නම් මාතෘකාව පිළිබඳ නිෂ්චිත එකඟතාවයක් නොමැති වුවත් එහි අන්තර් ගත ලක්ෂණ පිළිබඳව නම් යම් එකඟතාවයක් වන්නේය. එහිදි භූමිය ආණ්ඩුව ජනගහනය සහ ස්වාධිපත්‍ය යනුවෙන් ප්‍රධාන සාධක පිළිබඳව අවධානය යොමු කරයි. මෙම දැක්වීම ඔස්සේ බලාපොරොත්තු වන්නේ රාජ්‍ය පිළිබදව චින්තකයින්ගේ මත පිළිබඳව යම් විවරණයයක් ගෙන ඒමටයි. එම විවරණයට ප්‍රථමව අදාළ නිර්වචනයන් පහත පරිදි අවධානය යොමු කරමු.

ඇරිස්ටෝටල් - ප්‍රිතිමත් සහ ගවුරවාන්විත ජිවිතයක් ගත කිරිමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවා ගන්නා ලද සමාජ සංවිදානය රාජ්‍යයක් වේ.

මහාචාර්ය ගානර් - යම් නිෂ්චිත භුමි ප්‍රෙද්ශයක් ස්ථිර වාස භුමියක් කරගත් ජන සංඛ්‍යාවකින් සමන්විත ජනතාවගේ බහුතර අනුමැතිය ගත් සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත බාහිර වශයෙන් ස්වාධින මිනිස් සමාජය රාජ්‍යය ලෙස හැඳින්විය හැකිය.

ලැස්කි - වෙන් කරන ලද භූමි ප්‍රෙද්ශයක් තුළ අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය අත්තරිතර බලයක් සහිත මිනිස් සමාජය රාජ්‍යය වේ.

ජින් බොඩැන් - පොදු සමාජ හැසිරීම උත්තරිතර බලය සහ තාර්කික බුද්ධිය යොදා පිලනය කිරිම පිණිස එකට එකතු වූ මිනිස් සමාජය රාජ්‍යය වේ.

බලන්ටෂ්ලි - නිෂ්චිත දේශසිමාවක් තුළ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ජනතාව රාජ්‍යයක් වශයෙන් දැක්විය හැකිය.

ඉහත දැක්වෙන ආකාරයට නිර්වචනයන් ඉදිරිපත් කළ හැකි අතර මෙම නිර්වචන පිළිබඳව විවරණයක් මිළඟ විමසුමෙන් අවධානය යොමු කරන්නෙමු.

Tuesday, May 14, 2013

උපාධී ධාරියාගේ වර්තමාන තත්වය.....


ඇතැම් උපාධිධාරී සංගම් විසින් දක්වන්නේ  මෙය උපාධී ධාරීයාට පෑදුණූ ඉල්ලමක් ලෙසටය මේ ඉල්ලම ගැන නිවරදි තොරතුරු ගැන කතා කරන විට ඔවුන්ගෙන් එල්ල වන්නේ දැඩි තර්ජනයන්ය... උඹලට මේ ජොබ් හම්බ වු‍ෙණ් පිනට නේද ඒ නිසා ඒ ගුණ වත් තියපන් යනුවෙන් දැඩි ආවේග ශීලි අන්දමට කතා කරන්නේ උපාධීධාරී පත්වීම් ලබා ගන්තේ උපාධීයක් හැදෑරීමෙන් නොව වෙනත් අයගේ පිනට ලැබුණක් වශයෙනි.......

උපාධිධාරීන් අභ්‍යාසලාභී වී දැනට අවුරුද්දකට ආසන්නය.... එහෙත් තාමත් ඇතැම් අය උදෑසන පැමිණ පුටු රත් කරන්නේත් හවස 4.15 වන තුරු පැය ගනින්නේත් ඔවුන් ලද භාග්‍යෙය් ප්‍රතිඵල වශයෙනි.  එහෙත් මේ ගෙවෙන්නේ වැඩක් කළ හැකි තාරුණයේ ශක්තිය නේද ... කිසිදු වැඩක් නොකොට  කාලය කා දමන්නට රාජ්‍ය සේවයට හුරු කිරිමට ද යන්න දැන් ඇත්තටම සැකයක් නොමැත....

කිසිදු අමාත්‍යංශයකට ඇතුළත් කර නොමැති  තරුණ ජවය ඔහේ ගෙවෙන්නට දා ඇත්තේ කුමන වදයක් දෙන්න හිතාගෙනද... ඇතැම්  උපාධිධාරී රැකියා ස්ථිර වූවන්ගේ ස්ථිර වූ පත්වීම් ලිපි ලබා ගෙන ඇත්තේද ඔවුන්ට තමන්ගේ අනාගතය පිළිබඳව ඇති අවිනිෂ්චිත බවක් ඉතිරි කරමිනි.  10000 දීමනාවක් ගෙන එයින් අනාගතය පිළිබඳව හීන දකින්නට හා අනාගතය ගැන ස්ථීර බවක් ගොඩ නගා ගත හැකි වන්නේද.... එයයි සැබෑ ගැටළුව... මෙය රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් නොදැක්කේද....

අනෙක් කරැණ වන්නේ රැකියාවේ ස්ථිර බවක් දැකිය නොහැක්කේ සහ දිස්ත්‍රික්කයෙන් පිටට යන අතිරික්ත  අයද වැඩි වෙමින් යන්නේය. එහි ද ස්ථිර බවක් නැත....  දිනෙන් දින එක එක නම් සහිත ලිස්ට් එන්නේය.  ඒ හේතුවෙන් රැකියාවට  ස්ථීර ලිපියක් ලද අය පමණක් ස්ථිර බවක් ඇති සේම අනෙක් අයට තවමත් ස්ථිර බවක් නැත.... ස්ථිර වූ අයටත් නියමිත පඩි හැදෙන්නේ නැත.... තවමත් ඔවුන් දීමනා වඔයෙන් ගන්නේ 10000 පමණි....

උපාධිධාරියා යනු රටේ බුද්ධීමය සම්පතයි.... එයින් ගත යුතු උපරිම ප්‍රයෝජනයන් ගත යුතු වේ... එසේ නොකර ඔවුන් මන්ද ගාමී කරමින් ජීවිතයේ ඇති විදීම ගැන නොව ජිවිතය විදවන්නට පුරැදු කරන්නේ මෙම ස්කිම් එකයි......

ජීවිතය ගැන වැඩි බලා පොරොත්තු  පොදි බැඳගෙන රාජ්‍ය සේවය සඳහා සියළු උපාධීධාරීන් පැමිණීයේය....... එහෙත් ඔවුන්ට වී ඇත්තේ මෙසේ කාලය ගෙවා දමන්නටය...

Wednesday, May 1, 2013

ඇඹිළිපිටිය පුරවරයේ සුන්දර ගඟේයාය ග්‍රාමයේ කළ පර්යේෂණයේ පළමු පිවිසුම......


කොළඹ විශ්ව විද්‍යාලයේ 2005/2006 වර්ෂ වල අධ්‍යපනය හදාරණ ලද සමාජ විද්‍යා විශේෂ වේදී උපාධි අපේක්ෂක විද්‍යර්ථයින්ගේ කේෂ්ත්‍ර චාරිකාවේ කරන ලද සමික්ෂණයේ යම් වාර්තාකරණයක් මේ සමග අමුණමි.
ඇඹිලිපිටිය පුරයේ ගගේයාය නම්වූ ග්‍රාමය පිළිබඳව මෙම පර්යේෂණය පුරාවට සාකච්ඡාවට ලක් කරයි. විශේෂයෙන්ම ගඟේයාය ග්‍රාමයේ පවුල් ව්‍යූහයේ වෙනස් වීම පිළිබඳව තොරතුරු රැස්කිරිමක් කරනු ලැබු අතර එම තොරතුරු වල යම් විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙම පරිච්ඡේදයේ සාකච්ඡාවට ලක් කරන්නෙමි.
ගල්ඔය බහුකාර්යය යොජනා ක්‍රමයෙන් පසු  ලංකාවේ ඇති වු දෙවන බහුකාර්ය යොජනා ක්‍රමය වශයෙන් දැක්විය හැක්කේ මහවැලි බහුකාර්ය යොජනා ක්‍රමයයි. 1977 ගාමිණි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගඟේයාය ප්‍රදේශය මහවැලි අධිකාරියට පවරා දෙන ලදි. ගඟේ යාය ග්‍රාමය වර්ග කිලෝමිටර් 8 ක භූමි ප්‍රමාණයකින් යුත් අතර එහි සමස්ත ජනගහනය 2010 වන විට 4175 කි. ඒ අනුව එහි ස්ත්‍රීන් 2109 ක් හා පුරුෂයින් සංඛ්‍යාව 2088 ක් විය. ප්‍රථමයෙන් මෙම ග්‍රාමයේ පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව තුව්සිය හැට දෙකකි. වර්තමානයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 845 කි. මෙහි ප්‍රධාන යැපුම් භෝගය වන්නේ වි වගාවයි. ඊට අමතරව කෙසෙල් ගස්ලබු වැනි වාණිජ භෝග වගාවන් දැකිය හැකිය.ජනපදකරණය යටතේ ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රදේශයට උඩවලව ව්‍යාපෘතිය ඔස්සේ පුද්ගලයින් පදිංචි කරවන ලදි. විශේෂයෙන්ම දකුණු පළාතේ පුද්ගලයින් මෙහිදී වැඩි වශයෙන් ජනපද කරණයට ලක් වූවෝ වෙති.
 
ගඟේ යාය ග්‍රාමයේ පවුල් ව්‍යුහය වෙනස් වීම සම්බන්ධව කරන ලද පර්යේෂණයේ තොරතුරු පහත පරිදි ගොනු කොට දැක්විය හැකිය.

ගඟේයාය ග්‍රාමය තුළ පවුල් ව්‍යුහය වෙනස් වීම යන මාතෘකා පාඨය පිළිබඳව අවධානය යොමු කිරිමේදී ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වූ කරැණක් වන්නේ පළමු පරම්පරාවේ සිට දෙවන පරම්පරාව දක්වා ඉන් පසු තෙවන පරම්පරාව දක්වාත් විකාශනය වීමේදී පවුල් ව්‍යුහයේ පැහැදිළි වෙනස් වීමක් සිදුවී තිබීමයි. එනම් විස්තෘත පවුල් ඒකකයේ සිට එය න්‍යෂ්ටික පවුල් ව්‍යුහය දක්වා වෙනස් වීමක් සිදුවී ඇති බව කරන ලද තෙරතුරු රැස්කිරිම් තුළින් පෙනී ගිය කරුණක් විය. ඒ අනුව මෙසේ පවුල් ව්‍යුහය වෙනස් වීම සඳහා බලපා ඇතැයි සැළකිය හැකි කරුණු තුනක් පිළිබඳව මූලිකව අවධානය යොමු කළ හැකිය.

·         විවාහය
·         රැකියාව
·         අධ්‍යාපනය

මෙම සාධක පසුබිම් වෙමින් ඇඹිලිපිටිය පුරයේ ගඟේ යාය නම් ග්‍රාමයේ පවුල් සංස්ථාවේ වෙනස් වීම සිදුවී ඇත්තේය. ඒ මත විශේෂයෙන්ම ඉහත සාධක පිළිබඳව විස්තරාත්මක විවරණයක් පහත පරිදි දැක්විය හැකිය.
 
විවාහය
ගඟේයාය ග්‍රාමයේ පුද්ගලයින්ට ඉඩම් ලබා දීමේදී සොයා බලන ලද ප්‍රධානම සුදුසුකම වි ඇත්තේ විවාහය යන සාධකයයි. ඒ අනුව විශේෂයෙන්ම ඉඩම් ලබා දී ඇත්තේ විවාහ වි ඇති පවුල් සඳහාය. රජයෙන් ලද්දා වූ මඩ ඉඩම් වල කෘෂිකාර්මික කටයුතු වල නිරත වීම ඔවුනගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය විය. මෙම වගා කටයුතු සඳහා ශ්‍රමය පවුල තුළින්ම ලබා ගැනීම සඳහා ඔවුහු පවුල තුළ සමාජික සංඛ්‍යාව වර්ධනයක් කර ගනු ලැබීය. එ අනුව පළමු පරම්පරාවේ පවුලේ සමාජික සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමේ වර්ධනයක් සහිත වී ඇත. නමුත් මෙම ස්වරූපය වෙනස් වන අකාරයක්ද දැකිය හැක්කේය. එයට හොඳම උදාහරණක් වන්නේ පර්යේෂණය සිදුකරන මෙහොතේ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවට ලක් කළ එක් ගම් වැසියෙකු කරන ලද ප්‍රකාශයක් තුළින් අපව නව මානයකට යොමු කරවනු ලැබිය. ඔහු දක්වා සිටියේ ඔහු මේ ප්‍රදේශයේ පදිංචියට සංක්‍රමණය වීමට ප්‍රථම උඩවලව ජල යෝජනා ක්‍රමයේ කම්කරුවෙකු වශයෙන් සේවයේ යෙදී සිට  බවයි. එම ව්‍යාපෘතිය අවසානයේදි එහි සේවය කළ සියලුම කම්කරුවන්ට රජය විසින් ඉඩම් ප්‍රධානය කල අතර විවාහ වී සිටි කම්කරුවන්ට පමණක් ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් යන දෙවර්ගයේම ඉඩම් හිමි වූ බව දක්වා සිටියේය. නමුත් මෙම පුද්ගලයා එවකට වයස 19 ක තරුණයෙකු වූ බැවින් ඔහුට විවාහ වි ඇති කම්කරුවන් හට හිමි වූ ඉඩම් ප්‍රමාණය හිමි නොවීය. ඔහුට හිමි වී ඇත්තේ පර්චස් 240ක් පමණි. අද වන විට ඔහු එම ඉඩමේ නිවසක්ද ඉදි කොට පදිංචි වි සිටී. එම පවුලේ පරම්පරා ත්‍රිත්වයක් ජීවත් වේ. පවුලේ සමාජිකයින් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව 5කි.
කල් යාමත් සමගින්ම පළමු පරම්පරාවේ දරුවන් විවාහ වී ඉන් පසු ඔවුන්ට තම දෙමා පියන්ගේ ඉඩම් හිමිවිය. නමුත් පිරිමි දරුවන් අතර මෙම ඉඩම් බෙදී යාමක් දැකිය හැකි විය. එම පිරිමි දරුවන්ද තමන් හට පියාගෙන් උරුම වූ ඉඩම් වල නිවෙස් තනාගෙන මඩ ඉඩම් වගා කටයුතු කරමින් ජීවත් විමේ රටාවක් අද වන විටත් දැකිය හැකිය. නමුත් විවාහ වීමට ප්‍රථම ඔවුන් එකට පවුලක් වශයෙන් සමූහයක් වශයෙන් ජීවත් වීමේ රටාවක් දැකිය හැකි විය. නමුත් ගැහැණු දරුවන්ට ඉඩම් ලබා දීමක් සිදු නොකළ අතර ඇයට ලබා දුන්නේ චංචල දේපල පමණි. ඇය මේ ප්‍රදේශයේම වෙනත් පාර්ශවයක් විවාහ කර ගනිමින් ජිවත් වේ. අද වන විට ගමෙහි බොහෝ තරුණ තරුණියන් රැකියාවන් සඳහා ගමෙන් පිටත පළාත් වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දැකිය හැක්කේය. ඒ අවට රැකියා ස්ථානයේ ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතා ඔස්සේ විවාහ වීම් දැක්ය හැකිය. එසේම රැකියා සඳහා පිට ප්‍රදේශයන් සඳහා සංක්‍රමණය නොවූ තරුණියන් සහ තරුණයන් ගමේම යම් තරුණියක හෝ කරුණයෙකු හා විවාහ වීමේ ප්‍රවණතාවයක් දැක්ය හැක්කේය. එම විවාහ වීම් බොහෝ දුරට ඉඩම් ගමෙන් පිට අයෙකුට අයත් වීම වැළැක්වීම සඳහා ගන්නා උත්සාහයන්ය. කෙසේ හෝ වේවා විවාහයත් සමග දෙවන පරම්පරාවේ තරුණ කොටස් තම මහ ගෙදරින් ඉවත් වී තනිව ජිවත් වීම ප්‍රිය කරන්නේය. මේ අනුව පෙනී යන්නේ ගමේ පවුල් සංස්ථාවේ පැහැදිළී වෙනසක් සමාජීය වශයෙන් සිදු වි ඇති බවයි.

රුකියාව

 රැකියාව යන සාධකයද නූතනයේ ගඟේයාය ග්‍රාමයේ පවුල් ව්‍යුහය වෙනස්වීම සඳහා ප්‍රධාන බලපෑමක් එල්ල කර ඇත්තේය. පළමු පරම්පරාවේ සහ දෙවන පරම්පරාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ නිසා ශ්‍රමය යන්න පවුල තුළින්ම ලබා ගැනීම ඔවුනගේ අරමුණ විය. මේ නිසා එදවස පවුල සංකීර්ණ වූ සංයුක්ත පවුලක් වී ඇත. නමුත් නූතනයේ පවුලේ පරම්පරා විකාශනයත් සමග ඉඩම් පවුලේ දරුවන් අතර බෙදීම නිසා පසුකාලීනව ඉඩම් කුඩා පරිමාණයේ කොටස් වලට බෙදීමක් සිදුවිය. මේ යටතේ සෑම දරුවෙක්ටම ජීවත් වීම සඳහා සරිලන ආකාරයේ ඉඩම් කොටසක් නොලැබීම නිසා ජිවත් වීම සඳහා සරිලන ජීවන මාර්ගයක් සොයාගත යුතු විය. ඒ හේතුවෙන් දරුවන් කොටසක් ගමෙන් සංක්‍රමණය වීමක් දැකිය හැකි විය. යම් අයට ඉඩම් තිබුණද එය තමන්ගේ ආදායම් මාර්ගය වර්ධන කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. මන්දයත් එම ඉඩම් කැබළි ඉතා කුඩා කොටස් වලට බෙදී ගිය නිසාවෙනි. එය වගාවක් කිරිමට තරම් ප්‍රමාණවත් නොවීය. මේ සම්බන්ධව අදහස් දැක්වූ ගමේ එක් පුද්ගලයෙක් ප්‍රකාශ කළේ දැනට ගමේ ඇඟලුම් කම්හල් වල සේවයට යන තරැණියන් 200 ක් හා තරුණයින් 300 ක් අතර ප්‍රමාණයක් වන බවයි. එමෙන්ම 20 ක් 30 ක් අතර ප්‍රමාණයක් මැදපෙරදිග රැකියා සඳහා විදෙස්ගත වී ඇති බවයි. තරුණ සේවා සභාවේ රැකියා පොළ නම් වැඩ සටහන තුළින්ද ගමේ තරුණ කොටස් සඳහා රැකියා අවස්ථා විවර කර ඇති බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.
එසේම  විවාහය සහ රැකියාව අතර සම්බන්ධතායක් පවතින බව පෙනි ගිය කරුණක් විය. එනම් ගමෙන් රැකියා සඳහා නගරයට යන තරුණ කොටස් තමන්ගේ පළමු අපේක්ෂාව කර ගන්නේ විවාහයයි. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ස්වර්ණාභරණ සාදා ගැනීම ඔවුනගේ මූලික අපේක්ෂාවන් වන්නේය. ඒ තුළින් වක්‍ර ආකාරයෙන් ගම්‍ය වු දෙයක් වන්නේ තවමත් ගඟේ යාය ග්‍රාමයේ දෑවැද්ද යන්නට මූලිකත්වයක් ලබා දෙන බවයි.
තවද අප සමග අදහස් දැක්වු එක් පුද්ගලයෙක් අපට ප්‍රකාශ කළේ මෙසේ රැකියාවන් සඳහා සංක්‍රමණය වූ බොහෝ තරුණියන් නැවත ගමට පැමිණිම බොහෝ දුරට අඩු බවයි. සිංහල අලුත් අවුරුද්ද වැනි විශේෂ දවසකට නොපැමිණ නොහැකි නිසා පැමිණෙන බවත් ඔහු වැඩි දුරටත් දැක්වීය.
ඇතැම් තරුණයින් හට මඩ ඉඩම් තිබුණත් මඩත් සමග වැඩ කිරිමට දක්වන අකමැති බව නිසා නගරයේ රැකියාවන් සොයා සංක්‍රමණය වන බව නියැදි නිරික්ෂණයන් තුළින් ඉස්මතු විය. කෙසේ හෝ වේවා රැකියාව යන සාධකයද පදනම් වෙමින් පවුල් ව්‍යුහය ක්‍රමිකව වෙනස් විමක් දැකිය හැක්කේය.

අධ්‍යාපනය

පළමු පරම්පරාවට සාපේක්ෂව දෙවන සහ තෙවන පරම්පරාවේ අධ්‍යපන මට්ටමේ වෙනසක් සැළකිය යුතු මට්ටමින් දැකිය හැකි විය. මේ වෙනෙස එක් අන්තයකින් පෙර පැවති කෘෂිකාර්මික යැපිම සහ පවුල් ව්‍යුහය වෙනස්වීම සඳහා බලපා තිබේ එනම් තරුණ තරුණියන් කෙරෙහි අධ්‍යාපනය සඳහා නැඹුරුතාවයක් ඇති වි තිබීමයි. පළමු පරම්පරාවේ දරැවන් බිහි කිරිම ඉහළ මට්ටමක පැවතියද ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා උනන්දුවක් නොදක්වන ලදි. නමුත් නුතනය වන විට පවුල තුළින්ම මේ සඳහා රුකුළක් ලබා දෙමින් සිටී.
එසේම හොඳ අධ්‍යාපනයක් ලැබිමේ ඇති වැදගත් කම අද වන විට ඔවුන් පිළිගෙන තිබේ. අප සමග ගැඹුරු සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ දෙවන පරම්පරාවේ එක් ගොවි මහත්මයෙක් අප සමග ප්‍රකාශ කළේ මේ අයුරිනි.
අපට ඉස්සර ඉගෙන ගන්න වෙලාවක් තිබුණේ නෑ මහත්තයෝ ඒත් අපිට බැරිවුන දේ අපි කොහොම හරි දරුවන්ට දෙනව. දරුවත් මං වගේ ගොවිතැන් කරල දුක්විදිනව දකින්න මං ආසා නෑ මහත්තයෝ. මට ඕනේ මොන දුකක් හරි විඳගෙන මගේ දරැවන්ට උගන්නන්න.
ඉහත ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ අද වන විට පළමු පරම්පරාව තුළ කෘෂිකර්මාන්තය සදහා ලබාදි තිබූ ප්‍රමුඛ ස්ථානය අදවන විට අධ්‍යාපනයට හිමි වන බව පෙනී යයි. අදවන විට ගොවි මහතුන් ගොවිතැන් කිරිමේදී නව තාක්ෂණයද භාවිතා කරන බව පෙනී යන කරුණක් වේ. එසෙම අස්වැන්න විකිණිමේදී විද්‍යුත් තරාදි ද භාවිතා කරන්නේය. ජීවිතයේ යම් වෙනස් කමක් අධ්‍යාපනය ලැබීමේ ප්‍රතිඵල වශයෙන් භුක්ති විඳින්නේය. ඒ හේතුවෙන් නුතන ගොවින් තමන්ගේ දරුවන්ගේ අද්‍යාපනය වෙනුවෙන් ධණාත්මක ආකල්පයක් දරන්නේය.
එසේම පළමු පරම්පරාවේ දැකිය හැකි අඩුපාඩුවක් වූයේ අධ්‍යාපනයේ යම් තාක් දුරකට දුර්වල තාවයක් දැකීමයි. ඔවුනගේ සාක්ෂරතාවයේ යම් අඩු බවක් විද්‍යාමාන විය. 2010. 05. 19 වන දින ඇඹිලිපිටිය කොට්ඨාශ කාර්යාලය මගින් සංවිධානය කරන ලද දැනුවත් කිරිමේ වැඩසටහනේදී එම නිළධාරින් ප්‍රකාශ කර සිටියේ පළමු පරම්පරාවේ ගොවි මහතුන් අකුරු සාක්ෂරතාවයෙන් ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවයි. ඔවුහු තම ආයතනයේ නිළධාරින් බෙහොමයක් හමුවීමට පැමිණෙන්නේ කෘෂි, හා වල් නාශක භාවිතා කරන ආකාරය දැන ගැනීමට බවයි. එයට හේතුව වන්නේ අකුරු කියවීමට එම ගොවීන් නොදන්නා නිසා බව එම නිළධාරින් තව දුරටත් දක්වා සිටියේය. තවදුරටත් ඔවුන් දක්වා සිටියේ පළමු පරම්පරාවේ ගොවීන් නව තාක්ෂණ ක්‍රම භාවිතයට දෙන උපදෙස් ඉක්මණින් ග්‍රහණය කර නොගන්නා බවයි. නමුත් දෙවන පරම්පරාවේ ගොවින් ඉක්මණින් එම අපදෙස් ග්‍රහණය කර ගන්නා බව දැක්වීය. තවද පළමු පරම්පරාවට සාපේක්ෂව දෙවන පරම්පරාව සමග වැඩ කිරිම පහසු බව එම නිළධාරිහු දක්වා සිටියේය.
නමුත් අපගේ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ ගොවි මහතුන්ගේ අදහස් වලට අනුව අපට ප්‍රත්‍යක්ෂ වුයේ ඔවුන් තුළ ඇති වී තිබෙන අධ්‍යාපනය සම්බන්ධ නැඹුරුව තව දුරටත් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට වඩා අධ්‍යාපනය තව දුරටත් වර්ධනය කරගෙන අවශ්‍ය වන බවයි. ලබා ගන්නා අධ්‍යාපනය ඔස්සේ පිළිගත් රැකියාවක නිරත වීමයි. මෙය හරහා තවදුරටත් පවුල තුළ රැඳි සිටිම නොව පවුලෙන් වියුක්ත සිටිමක් අපේක්ෂා කරයි. කේෂේත්‍රෙය් කරන ලද නිරික්ෂණයන් තුළින් පෙනී ගිය කරුණක් වූයේ ගමේ පාසලේ පහසුකම් වලින් පොහොසත් බවයි. එනම් පරිඝණක පහසුකම්ද ගමේ පාසලේ විය. මෙම අද්‍යාපනය යන සාධකයද නූතනයේ පවුල් ව්‍යුහයේ යම් ආකාරයක හෝ වෙනසක් කිරිම කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බව පෙනී යයි.
      ඉහත සාධක සියල්ලක්ම සලකා බැලිමේදි ගඟේයාය ග්‍රාමයේ පවුල් ව්‍යුහය වෙනස් විම සඳහා මෙම ඉහතින් පැහැදිළි කරන්නට යෙදුණු කරුණු අඩු වැඩි වශයෙන් බලපා ඇති බව දැක්විය හැකිය.....
පසුව ගඟේයාය ග්‍රාමයේ තවත් එක් පැතිකඩක් පිළිබඳව විග්‍රහයක් බලා පොරොත්තු වන්න.......

තොරතුරු සම්පාදනයේදී සහාය වූයේ
ලලන්ත, ක්‍රිෂාන්ති, බුද්ධික, හර්ෂී, නිරෝෂා, සුලේඛා, කල්හාරි, රේණුකා, ආදිහු විය..................